නර්තන මාධ්‍යයෙන් මිනිස් චරිත නිරූපණය.

 

1.0 පරිසර නිරික්ෂණයෙන් ලබන අත්දැකීම් ඇසුරු කර ගනිමින් නර්තන නිර්මාණය කරයි.

1.1 පරිසරයේ දක්නට ලැබෙන මිනිස් චරිත ඇසුරින් නර්තන නිර්මාණ කරයි.



    නර්තනය යනු හුදෙක්ම තාලානුකූලව හෝ රිද්මයානුකූලව ඉදිරිපත් කරනු ලබන චලන සමූහයක් පමණක් නොවේ. ඉන් ඔබ්බට ගොස් නර්තනය තුළින් ගැඹුරු ප්‍රකාශනයන් ඉදිරිපත් කළ හැකිය. එළෙස නර්තනය තුළින් ප්‍රකාශන සාර්ථකව ඉදිරිපත් කිරීමට නම් ඔබ අවට ඇති ස්වභාධර්මය, සතුන්,මිනිසුන් ආදිය දකින්නෙක් නොව ඒවා දෙස මනා අවබෝධයකින් බලන්නෙකු බවට පත් විය යුතුය.

    යම් නිර්මාණයක් සිදු කිරීමේ දී අප අවට සිටින සත්ත්ව චරිත හා මානුෂ චරිත යොදා ගනු ලබයි. මෙහිදී අප මනුෂ්‍ය චරිත මූලික කොට ගෙන සාකච්ඡා කරමු.

නර්තනය මාධ්‍ය කරගනිමින් යම් මිනිස් චරිතයක් නිරූපණයේ දී අවධානයෙන් යුතුව එම චරිත පිළිබදව මනා අවබෝධයක් මූලිකවම ලබා ගත යුතු වේ. එසේ කිරීමෙන් මිනිස් චරිත වල ඇති සුවිශේෂ ලක්ෂණ හදුනාගත හැකි වේ.

මිනිස් චරිත මූලිකවම පහත පරිදි වර්ගීකරණය කළ හැකි වේ.



මෙවැනි ආකාරයට මානුෂ චරිත අපට හමුවන අතර එම චරිත ඇසුරින් නිර්මාණකරණය සිදු කිරීමේ දී විවිධ මිනිස් චරිතයන් පිළිබදව මනා අවබෝධයක් අප සතු විය යුතුය. ඒ සදහා මූලිකවම මෙම චරිතයන් හි බාහිර ස්වරූපය පිළිබදව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. එක් එක් චරිතයන් හි බාහිරව මෙන්ම අභ්‍යන්තරිකවද විශේෂතා දක්නට ලැබුණද නර්තන නිර්මාණයක දී බාහිර සුවිශේෂතා හා ලක්ෂණ පිළිබද වඩා අවධානයක් යොමු කළ යුතුවේ.


මානුෂ චරිත නිරීක්ෂණයේ දී  විශේෂයෙන්ම,

  1. ගමන් විලාශ හා බැදි විවිධතා.
  2. අංග,ප්‍රත්‍යාංග,උපාංග, ආදියෙහි ක්‍රියාකාරි ස්වාභාවය.
  3. භාව ප්‍රකාශනය.
  4. නර්තන නිර්මාණයේ දී අවස්ථාවට උචිත තාලානූකූල චලන, රිද්මයානුකූල                   චලන හා ප්‍රකාශනාත්මක චලන යොදා ගැනීම.

නර්තන නිර්මාණයට සුදුසු මිනිස් චරිතවල සුවිශේෂ ලක්ෂණ.

 

මුහුදු යන්නට සැරසෙන ධිවරයා.

  1. ආගම ඇදහීමෙන් පසු ආම්පන්න රැගෙන වෙරළට ගොස් ඔරුව දියත් කිරීම.
  2. විවිධාකාරයෙන් හබල් ගසා ඔරුව දියඹට ගෙන යාම.
  3. දැල් රැගෙන ඈතට එළීම සිදු කර ඒවා ආපසු ඇද මත්ස්‍ය සම්පත් ලබා ගැනීම.
  4. අවසානයේ දී ඔරුව නැවත ගොඩට ගෙන ඒම.
  5. පසුව වෙරළේ විශාල දැලක් අදිමින් සිටි කණ්ඩායමට එකතු වී දැල ඇදීම
  6. විශාල මත්ස්‍ය ප්‍රමාණයක් අසු වී සිටිනු දැක සතුටින් නැටීම.

 

කුඹල්කරු

  1. මැටි කැපීම.
  2. මැටි පැගීම.
  3. මැටි පදම් කිරීම.
  4. මැටි ගෙනැවිත් ගොඩ කිරීම.
  5. මැටි භාණ්ඩ තැනීම.
  6. සතුටින් නැටීම.

 

ගොවියා

  1. බිම් සැකසීම (කෙටීම, සී සෑම, පෝරු ගෑම)
  2. බීජ ඉසීම.
  3. පැළ සිටුවීම.
  4. නඩත්තුව.
  5. අස්වනු නෙළීම.
  6. සතුටින් නැටීම.

 

තේ දළු නෙලන්නීය.

  1. දළු නෙලන්නට සුදානම් වීම.
  2. දළු නෙලීමට යාම.
  3. දළු නෙලීම.
  4. දළු එකතු කිරීම.
  5. රැගෙන ගොස් භාර දීම.
  6. සතුටින් නැටීම.

 

මිනිස් චරිත ඇසුරින් නර්තන නිර්මාණයේ දී පැහැදිලි වන කරුණු,

 

            මිනිස් චරිත ඇසුරින් නිර්මාණය කිරීමේ දී අප තෝරා ගන්නා එක් එක් චරිතයට සුවිශේෂි චලන යොදා ගැනීම සිදු කළ යුතුය. එහිදී චලන වල ඇති ලක්ෂණ එක් එක් චරිතයට අනුව වෙනස් වන බව පැහැදිලි වේ. එහිදී,

  1. යොදා ගන්නා චලන ලක්ෂණ එකිනෙක වෙනස් වීම
  2. ශක්තිය, කාලය, වේගය මෙන්ම තල දිසා හා සම්බන්ධතා විවිධාකාර ව යොදා ගැනීම.
  3. මනුෂ්‍ය චරිතයට අදාළ නියමිත ගති ලක්ෂණ නර්තනය මඟින් පිළිබිඹු වීම.
  4. සැමවිට ම එකිනෙක චරිත සඳහා නර්තන නිර්මාණයේ දී චලන විවිධතා තිබීම

 යන කරුණු පැහැදිලි වේ.


මෙම පාඩම ඇසුරින් පහත ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න.

 01 නර්තන නිර්මාණයට සුදුසු මිනිස් චරිත නම් කරන්න.

02. විවිධ මිනිස් චරිතවල සුවිශේෂ ලක්ෂණ හඳුන්වන්න.

03. චරිත නිර්මාණයට සුදුසු සිද්ධියක් ගොඩ නගන්න.


ආශ්‍රිත මූලාශ්‍ර -   9 ශ්‍රේණිය නර්තනය අතිරේක කියවීම් පොත.

                            9 ශ්‍රේණිය නර්තනය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය.

                            ඥානසිරි පීරිස් නර්තනය 9  ශ්‍රේණිය.

            

                                             

සැකසුම - දිනේෂ් ජයසිංහ.
----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න
ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

 

 

Post a Comment

Previous Post Next Post